කෞතුකාගාරය

දේශීය කලාකරුවන්ගේ දස්කම් මොනවට කියාපාන ඇත් දතින් හා රිදීයෙන් පොත් කම්බා සහිත පුස්කොලයෙහි ලියවුනු පන්සිය පනස් ජාතක පොත, පිරිත් පොත් වහන්සේ දෙනම ඇතුළු සම්පූර්ණ ති‍්‍රපිටකයම ලියන ලද පුස්තක රාශියක් මෙම විහාරස්ථානයේ දැනුදු සුරැකිව ඇත. මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් අතින් පිළිගැන්වුණු පිරිත්හුය ඇත් දත් කරඩුව, රිදී කරඩුව සහ අනුනායක පදවි ප‍්‍රාප්ත වූ රතනපාල හිමිට ගෞරව වශයෙන් ප‍්‍රදානය කරන ලද වටාපත ද මේ අතර වෙයි. විහාරයෙහි සුරැකි පුරාවස්තූන් අතර එක්තරා විජිනි පත් දෙකක් මුල්තැන් ගනී. කිඹුල් රුවට සියුම් කැටයම් කලාවකින් නිම වූ විජිනිපත් (වටාපත්) දෙක එදා සිහල කලාකරුවාගේ විශ්වකර්ම කලා දක්‍ෂතාව ඔප්පු කරන්නකි. කටාරංගල විහාරයට මෙම කලා කෘති ලැබී ඇත්තේ සග පරපුරෙනි. ඒවා මීට අටසිය වසරකට පමණ පෙර දී නිමවූවා යැයි විශ්වාස කරනු ලැබේ. ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා වරෙක ඇත් දත් විජින පත් දෙක අත දුටු වේලෙහි ඒ පිළිබඳව අදහස් පල කරමින් අනුරාධපුර රාජධානිය කොට විසූ දළ කැටයම් කලාවෙහි අති දක්‍ෂයෙකු වූ දෙටුතිස් රජුගේ කලා කෘතියක් වුවහැකි බව ද පළ කළේය.

ඉතා පැරණි මැටි බඳුන් සෑහෙන ප‍්‍රමාණයක් කටාරංගල රජමහා විහාරය තුළ කෞතුක භාණ්ඩ ලෙස සුරක්‍ෂිතව පවතී. පුරා විද්‍යාත්මක ගවේශණ වල දී මැටි භාණ්ඩ වැදගත් සාධකයකි. ශිෂ්ඨාචාර ආරම්භයත් සමග අතිත මානවයා බුද්ධියෙන්, කලාවෙන්, තාක්‍ෂණයෙන් පුළුල්වත්ම ඒ දැනුම් සම්භාරය තම දෛනික අවශ්‍යතා සඳහා යොදාගත් බව සාදාගත් උපකරණ ඔස්සේ ප‍්‍රකාශනය කරයි. අමුද්‍රව්‍ය ලෙස මැටි පහසුවෙන් සොයාගත හැකි වීම නිසා මැටි භාණ්ඩ පරිහරණයට හුරු වී ඇත. මේ තුළින් ජනාවාස, කලා නීර්නය කිරීම, සමාජ ස්ථරයන්, ආගමික අභිචාරයන්, ආර්ථිකය, කලාව තාක්‍ෂණය හා ජාත්‍යන්තර සබඳතා ආදී අතීත මිනිසාගේ කි‍්‍රයාකාරකම් ගවේෂණයට මැටි බඳුන් බෙහෙවින් ඉවහල් වෙයි.